(පද්මසිරි ගාර්දියවසම්)
මිද්දෙණිය ප්‍රාථමික විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු තම නිවස පිටුපස කුඹුරේ ඇද තිබූ විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය .
අද (02) පෙරවරු 10.30 ට පමණ මිද්දෙණිය හෙල්ල ප්‍රදේශයේ පිහිටි නිවෙස පිටුපස පිහිටි කුඹුර අසල තම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා කෑගසනු ඇසී පාසල් සිසුවා එදෙසට දිවගොස් ඇතැයි පොලිසිය පැවසීය .
ඒ වනවිට කෑගසමින් සිටි සුනඛයාට විදුලි සැර වැදී තිබී ඇති අතර ඒ අසලට ගිය සිසුවාටද විදුලි සැර වැදී තිබේ. සුනඛයා එම ස්ථානයේදීම මියගොස් තිබිණි .
විදුලි සැර වැදුනු සිසුවා වහා මිද්දෙණිය රෝහලට රැගෙන ආවද එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිද්දෙණිය හෙල්ලල අංක 164/4 ලිපිනයේ පදිංචි තීක්ෂණ විශ්ව අනුරාධ නමැති අවුරුදු 08 මාස 10 ක් වයසැති පාසැල් සිසුවෙකි.
ඔහුගේ අසල්වැසියෙකු විසින් තම කුඹුරට සවිකර තිබූ ජල මෝටරයක් ක්‍රියාත්මක කිරීමට අනවසරයෙන් මෙම විදුලි රැහැන ඇද ඇතැයි පොලිසිය පැවසීය .
විදුලි රැහැන ඇද්ද සැකකරු මිද්දෙණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
සිසුවාගේ දේහය මිද්දෙණිය රෝහලේ තැන්පත් කර තිබේ .
මිද්දෙණිය පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

